Saturday, June 28, 2014

පුන්ප්‍රියා!!

පොඩි කාලේ ඉදලම ඉතිං මට එක එක ලව් සින්කෝන් කිහිපයක්ම තිබුනා නෙව. ඔය වයසට එහෙම නොකර ඇහැක.. 

එක වතාවක් අපේ ගෙවල් අහල පහලම හිටිය බෝම සුරූපි කෙල්ලෙක්.. මට වැඩිය අවුරුද්දක් බාල උනාට මේ දැරිවි මට වඩා උසට මහතට හිටියේ. අපේ ඉස්කෝලේට අල්ලපු ඉස්කෝලේ තමා එයා හිටියේ. කොහොම හරි මේකිගේ උස, මහත, පුෂ්ටිමත් (ඔව් අනේ ඔක්කෝම පුෂ්ටිමත්) සරීර කුඩුව හින්දම වෙන්ටැ අපරදිග සංගීත කණ්ඩායටම තෝරගෙන තිබුනේ. එක දවසක් බෑන්ඩ් එක ෆුල් කලර්ස් වලින් හිටිය වෙලාවක මම දැක්කා මේකි ඉස්සරහින්ම අර “කොම්බුව“ උස්සගෙන යනවා. ඇස් වහක් කටවහක් නෑ.. ලස්සනේ බැරුවා. ඇස්අග පාට කරල, කම්මුල් දෙකේ රෝසපාට ගොඩාක් තවරල, දිගට තිබුන කොණ්ඩේ උඩට බෝලයක් වගේ ගැට ගහගෙන තැල්ලකුත් දාලා, ඒ මදිවට කන්දෙකේ එල්ලෙන තෝඩු දාගෙන, ලස්සන ඇඳුමයි බුරිය පේන සුදු බඩයි දැක්කම මට ඉවසුම් නැති උනා. ඒ පාර ඉතිං ෆුල් ට්‍රයි කරා මේකිව අල්ලගන්න. කියන්න අමතක උනා ඔය බෑන්ඩ් එකේ කොම්බුව ගෙනියන නිසා ඒකි නිකම්ම කොම්බුව උනා.

කොයි තරං ට්‍රයි කරත්, බෑන්ඩ් එකේ හිටිය උණටද මන්දා මට සුහද ප්‍රතිචාරයක් ලැබුනෙම නැහැ. තවත් බෑ ඉවසන්න කියල මම පාරෙදි මේකි එනකොට අල්ලගෙන කතා කළා. ඒක ඉතිං එකම තැටියේ කතාව තමා.

“සුරේකා.. චුට්ටක් ඉන්න“

“ඇයි“

“මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන“

“හරි. කියන්න මොකක්ද ඉතිං“

“එහෙම බෑ සුරේකා.. මට ඔයාට දෙයක් කියන්න තියෙනවා“

“මොකද බැරි.. දැං කිව්වනං හරිනේ“

“එහෙම නෙමෙයි මට ඔයාව තනියම හම්බු වෙන්නයි ඕන“

“මොන වදයක්ද.. මම මේ තනියම තමා ඉන්නේ“

“අයියෝ.. ඔයාට තේරෙන්නෑ නේ“

“මේ අයියේ.. නිකං බබා නොවී කියනවා.. මට ලව් නේද?? සොරි තමා.. ඔයාට මං කැමති නෑ.. දැං හරිනේ“

“හෑ....“

ඔච්චර තමා.. මගේ කට බලිකට වගේ ඇරුනා මේකිගේ කටේ සද්දෙට. මොනා කරන්නද, මං හිතාන උන්නේ කල්ප ගානක් පෙරුම් පුරලා තමා මට මෙයැයිව හමු උනේ කියල. වැඩේ හරිගියානං බෝධි පුජාවක් තියන්නත් මං කල්පනා කරලයි තිබුනේ. දැං ඉතිං මොනවා කරන්නද?

ඒ දවස් වල අපිට තිබුනේ JVC කැසට් ප්ලේයර් එකක්. ඒකේ තනි ස්පීකර් එකයි තිබුනේ. මම රෙකෝඩ් බාර් එකෙන් රෙකෝඩ් කරගෙන ආපු පීස් කෑල්ලක් දාලා බෝම දුකින් සුසුම් හෙලමින් ඉන්න කොට... මෙන්න ඇහෙනවා සින්දුවක්.. පපුව පැලිල මං මැරෙන්නම ගියා එදානං..

සෙව්වන්දියකට පෙම් බැන්දා
ආසා දහසක් රස වින්දා


ඔය වගේම තවත් ලව් සිද්ධියකදී බූට් එක කාලා ගෙදර ඇවිත් දාපු කැසට් එකේ තිබුනේ..

අඳුර අඳුර මගේ..
සොඳුර සොඳුර මගේ
නොයනු මැනවි දා 
තනිකර එළියේ

මට මේ සිංදු මතක් උනේ. ක්ලැරන්ස්, මිල්ටන් පරම්පරාවේ අපේ කාලයේ බෝම ලස්සන සරල ගීත ගායනා කරපු දෙන්නෙක් මතක් වෙව්ව නිසයි.

එක්කෙනෙක් ප්‍රියා සූරියසේන
අනෙකා පුන්සිරි සොයිසා

ඒකාකාරි ගීත රචනා, තනු හරහා හැමෝම මේ කාලේ පුදුම විදියට ඒකාකාරි වෙලා ඉද්දි, අහම්බෙන් හරි ඇහෙන මේ වගේ ගීත හරහා මම නං අතීතයටම යනවා. නිතර නිතර නොඇසුනත් කොතනදි පුන්සිරි හෝ ප්‍රියා ගයන ගීතයක් ඇහුනම මගේ ඇගේ මවිල් කෙලින් වෙනවා. අපි ඒ දවස් ඒ ගීත වල වචන රසයෙන් කොයි තරං මත් වෙලා හිටියද, ඒ ගීත කොයි තරං අපේ ජීවිත වලට සමීප උනාද කියල දැනෙන කොට. හුගක් වෙලාවට ඒ කාලේ මම නං මගේ ජීවිතේ එක එක සිද්ධි වලදි යම් යම් ගීත වලට කැමති උනා. ඒවා එක දිගට අහන්නේ. ඒක නිසා ජීවිත සංසිද්ධි මතක් කරගන්න දැන් උනත් ඔය ගීතයක් ඇහුනම ඇති.

කොහොම හරි පුන්සිරිලා, ප්‍රියාලා මහන්සි වෙලා කරපු ගීත දැං මාධ්‍යෙයන් වාරණය කරල නෙව තියෙන්නේ. සිංදුවක් දාන්න නං ඉතිං ඒ යක්කුන්ට දොළ පිදේනි දෙන්න එපායැ. වර්තමාන තරුණ පරපුරට තමා ලොකුම පාඩුව මේ වගේ දේවල් වලින් වෙන්නේ. අපිට සරල ගීතයේ හා නව සංගීත සංයෝජනයේ පුමුඛ අය විදියට ක්ලැරන්ස්, මිල්ටන්, ප්‍රියා වගේම පුන්සිරිත් සලකන්න පුළුවන්. පුන්සිරි නං මම හිතන්නේ 70 දශකයේ ඉදලම ගීත ගායනා කරනවා. 

නිකං ඉන්න එකේ පරණ සිංදු දෙක තුනක් අහලම බලමු නේද?

යු ටියුබ් සිංදු


Wednesday, June 25, 2014

බිලියන්!! (One Billion)

සමහර දේවල් ගැන මිනිස්සු අහල තියෙන දේ හෝ තමන් හරි කියල හිතාගෙන විශ්වාස කරගෙන ඉන්න දේවල් ඇත්තටම හරිද කියල හිතෙන්නේ, ඒවා වැරදියි කියල ඔප්පු කරලම පෙන්නුවම තමා. මිනිස්සු විෂමාකාර චරිත උනේ, එකිනෙකාට මොන විදියෙන්වත් සමාන නොවුනේ මේ සිතුවිලි වල, විශ්වාසයන්, ඉගැන්වීම් වල වෙනස් කම් නිසා වෙන්නැති.

මං දන්න කියන සමහර අය ඉන්නවා ඒ අය හිතන් ඉන්නේ තමන්ගේ හිතට මොකක් හරි දෙයක් ගැන අදහසක් ආව නං ඒ හිතට ආපු අදහස පරම සත්‍යය කියලා. ආයි මොන විදියෙන්වත් තමන් හිතපු දේ වරදින්න විදියක් නෑ කියල ඒ හාදයෝ ඉස්තීරෙටම කියනවා.

ඔය වගේ එක්කෙනෙක් තමා අපේ දේශිකා. එයා හිතන් ඉන්නෙත් එයාට මොකක් හරි දෙයක් හිතුනොත්.. අබ සරණයි.. ඒක හරිම කියල තමා. ආයිත් දෙකක් නෑ ඒ විදියටම තමා ඒක වෙන්න ඕන.

එක දවසක් පාටියකට ගිහිල්ල මම රෑ උනා ගෙදර එන්න. ඔය පාටි වලට ගියාම බස් වල එනව නං මට මගදි ටිකක් නින්ද යන නිසා සමහර දවසට බහින්න ඕන ස්ටෑන්ඩ් එකේ නෙමෙයි වෙන ස්ටෑන්ඩ් වල බහිනවා. හැබැයි ආපහු බස් එකක නැගල හරි ගෙදරට ම යනවා. ඒකයි ඇත්ත කතාව. එදා මං රෑ උනාම දේශිකා කෝල් කරල ඇහුවා කොහේද කියලා. හොදටම රෑ වේච්චි හින්දා මම කිව්වේ මේ දැං බස් එකට නගින්නයි මං ඉන්නේ කියලා. ඒත් මොන.. මම වීදුරුව ආයි පුරවල ෂොට් එකක් හලාගත්තා කටට. අලුත ගෙන බෝතලෙන්ම. පැයක් එකහමාරක් ගියාමත් මට කෝල් එකක් ආවා. එතකොටත් මම කිව්වේ බස් එකක් නෑ තාම කියලා. ඔය විදියට තව පාරක් කෝල් එකක් එනකොට මං ඇත්තටම බස් එකේ.. තව ටිකකින් බහිනවා විනාඩි පහෙන් ගෙදර කියල පෝන් එක තිබ්බා. කිව්ව වගේම විනාඩි පහෙන් ගෙදර ගියා. 

හැබැයි මේ දැරිවි හිතාගෙන ඉදල තියෙන්නේ මම බීල ඉවර වෙලා අර මුලින් කිව්ව වෙලාවටම බස් එකේ නැගල එන්න පිටත් උනාය කියල තමා. ඊට පස්සේ පරක්කු වෙනකොට එයැයි හිතුවලු මට නින්ද ගිහිල්ල බහින තැන පහු කරන් හුගක් දුර ගිහින් ආයි බස් එකක නැගල තමා එනවා ඇත්තේ කියලා. මම මොන විදියට දහං ගැට දාලා ඒක තේරුං කරත් එයැයි නෙමෙයි එයැයි හිතපු දේ වැරදියි කියල පිළිගන්නේ. ෆෝන් එකෙන් කතා කරදිදි කිසිම සද්දයක් බද්දයක් නැති වෙච්චි නිසා ඒකත් සාක්කියට අරන් තමන්ගේ මතය තහවුරු කරලම තමා දේශිකා පස්ස බැලුවේ. මොනා කරන්න ද මාත් ඉතිං ඔව් ඔයා හරි කියල හොදට බුදියගත්තා..හැක්

තව තව සිද්ධි තියෙනවා ඔය වගේ වෙච්චි. ඒවා පස්සේ කියන්නංකෝ.

මේකත් මේ අපේ දේශිකා වගේ එකියෙක්ගේ කතාවක්.

අපේ ඔපීසියට අලුතෙන් ආපු මේ දැරිවි බෝම ලස්සනට වැඩේ කරන් යනවා. ගණං හිලව් හොදට හදාගෙන වැඩ ටික කරන නිසා මම නං කිව්වේ තෝ මොන වෙලාවක හරි එකේ ඉලක්කමක් ඔළුවේ ඇනිලා මැරේවි කියලා. පොඩි අවුලක් තියේ. අපි හදන ගණං වල ඉතිං මිලියන් ගණං හෙමත් තියෙනවා නේ. සාමාන්‍යෙයන් මිලියන 34.5, 23.7 ඔන්න ඔය වගේ ගණං තමා අපි කියන්නේ. ඒත් දවසක් එක ගාණක් ලියල තිබුනේ මිලියන 124.8 ක් කියලා. අපි කව්රුවත් ඕක ගැන ඒ තරං සැලකුවේ නැහැ. මොන මගුලක්ද මිලියන 124 ක්.. කොළඹ ගිහිල්ල ගෙයක් ගන්නවත් ඇහැක.. 

කෝම හරි ඔය ප්‍රොජෙක්ට් එකේ රිපෝට් එකක් හදන්න මේ දැරිවිට භාර දුන්නා. ඒකේ කොන්‍ත්‍රාත් මුදල විදියට මේ දැරිවි කීයද දන්නවද ලියල තිබුනේ.

බිලියන 12.48 යි.

රිපෝට් එක බලපු මගේ ඇස් උඩ ගියා. යකෝ ජීවිත කාලේම මේ වගේ ගානක් එකතු වෙන්නෑ කරපු වැඩ ටික බැලුවත්. එහෙව් එකේ මේකි මොකක්ද මේ කරපු පාහර වැඩේ කියල මම බැලුවා.

සිටාරි.. මෙහේ එනවා. මොකක්ද මේ බිලියන 12.48 කියන්නේ.

ඇයි අනේ දේශා.. මං ඒක කෙටියෙන් ලිව්වේ.

ඉතිං හරිද.. ගාන..

ඇයි වැරදිද.. මිලියන් වන් ටුවෙන්ටි ෆෝ.. බිලියන් උනාම ටුවෙල් පොයින්ට් ගානක් නේ..

හැබෑට සිටාරියො. උඹගේ මොලේ ඉලක්කං මාරු වෙලාද මේ ටිකේ..

නිකා ඉන්න අංකල්.. මම ගාන හරියට ලිව්වා හොදද?? ඕන නං බොස්ගෙන් අහමු..

බොස්ගෙන් අහල පීචං නොවී මං කියන එක අහපිය. මිලියන කීයක්ද බිලියනයක් කියන්නේ??

ඕක මොකක්ද? ටෙන් මිලියන් ඉක්වල්ස් ටු වන් බිලියන්.. ෂුවර්..

ෆක් ද මිලියන්ස්.. යකෝ කව්ද බොට ගණං කියල දුන්නේ.. අම්මප මෙච්චර කල් කොහේද වැඩ කරේ?

ඇයි ඇයි දේශා. ගාන වැරදිද?

වැරදි නෙමෙයි.. ස්ට්‍රොක් එකක් ඇවිල්ලයි මැරෙන්නේ මේවා බලලා. ගොං හරකියෝ.. බිලියන් එකක් කියන්නේ ලේසි පාසු ගානක් නෙමෙයි. ඔය සිංහලෙන් ලක්ස දහය මිලියනයයි.. මිලියන දහය කෝටියයි කියනව වගේ ඒවයින් පයිත්තියං වෙලාද ඔය විදියට ගණං හදන්නේ.. මෝඩ වැඳිරි.. බිලියන් එකක් කියන්නේ මිලියන දාහකට.

ඇත්තද.. ආ.. අයියෝ මං මෙච්චර කල් හිතාන උන්නේ මිලියන දහය බිලියන් එකයි කියල නේ.. අයියෝ සැහ්.. තැන්කුයි දේශා..

ඔන්න ඕමයි වැඩේ උනේ.. මේ යක්කු තමන් දැනං ඉන්න දේ ඉස්තීරෙටම හරියි කියල හිතන් ඉන්නේ කිසිම විචක්ෂණශිලි, විචාරශිලී ගුණයකින් තොරව නේ.. ඒකයි අවුල. 

Monday, June 16, 2014

සැනසෙමු සුදෝ...!!

වෙන්න තියෙන දේ වෙනවා ඒකේ ඉතිං ඇදක් කුදක් තියෙන එකක්යැ.. මේ පාර මාත් බාගෙට මැරුනා.. ඒක නිසාම මාස භාගයක්.. බුදු අම්මේ.. එච්චර කාලයක් බ්ලොග් අනං මනං සීමාසහිතව භාවිතා කලා. එපමණයි.. ඒත් වැඩේ කියන්නේ මේ අවකාසේ ඉන්න එක එක මිත්තරයෝ වේසෙන් ඉන්න කුම්භාණ්ඩයෝ නොයෙකුත් අවලාද.. අපහාස මට පුද්ගලිකවත් ප්‍රසිද්ධියේත් එල්ල කරල තිබුනා. ඒවට නියම කලට වැසි වගේ හෙන වදින්නම දෙන්නංකෝ බඩු හරිය... හැක් හැක්.

හැබෑට අර නානසාර කතාකරන රැස්වීම් වල පුකවල් උඩ දදා අප්පුඩි ගහන උන් දැක්කම මට මතක් වෙන්නේ පරණ රෝමයේ කොලෝසියම. එතනත් එහෙම නේ. වටේ ඉන්න පනස් දාහක් අසුදාහක් විතර කෑමොර දෙන විදියට තමා සත්තු හරි මිනිස්සු හරි මරල දාන්නේ. එහෙම බැලුවම නානසාරයත් ග්ලැඩියේටර් කෙනෙක් හරි... සත්තු කොටවන්නෙක් හරි වෙන්න ඇති පෙර ආත්ම භවයක. 

මුං මේ කරන පඩත්තර වැඩ හින්දා අපට නැති වෙන්නේ අපේ රට බව පුක උඩදාගෙන අත්පුඩි ගහන උන් නොදැන ඉන්න එකයි අරුමේ. මං කිව්වේ අපේ රට කියල,.. මේක සිංහල රටක් කියල නෙමෙයි. මේක අපේ රට.. නැතිව එක එක පදුරු සිංහලයන්ගෙවත්.. මුස්ලිම් කාරයන්ගෙවත් දෙමලගෙවත් රටක් නෙමෙයි. අපේ රට. තමන්ගේ රටේම ඉහේ ඉදගෙන කඩුවෙන් බෙල්ලට කොටන නරුමයෝ ඉන්න රටක තව දුරටත් ජීවත් වෙනවද කියල හිතන්න වටිනවා.

නීතියත් නීතිය ක්‍රියාත්මක කිරීමත් මේ තරම්ම විහිළුවකට පාත්‍ර වෙච්චි කාලයක් ගැන ආයෙත් හිතන්නවත් බැහැ. ඒ වගේමයි රට තුල ඇති බිඳවැටීම.. හැම අතින්ම.. එක එක සංදර්ශන.. විකාර විවාද.. ප්‍රකාශ වලින් හංගන්න හැදුවත් එතැන තියෙන අති භයානක බිඳවැටීම වහංගු කරන්න නං ලේසි නැහැ. කරුමෙට මේ සාමාන්‍ය ජනයා කියන අන්ධභූත ආත්ම මේ තත්වයන් තේරුම් නොගන්න එක පුදුම අවාසනාවක්. පාලං උඩින් පැනල දරුවොත් එක්ක මැරෙන්න හදන මිනිස්සු ගැන අනුකම්පාවෙන් පාලං ගැට්ට උස් කරන්න කතා කරන බුරු පුත්‍රයන්ට තේරෙන්නෑ එක්කෝ තේරුම් කරල දෙන්න උවමනාවක් නැහැ.. රටේ තියෙන ආර්ථික පරිහානිය තමා ඒවයින් පෙන්නුම් කරන්නේ කියල. 

එක එක විදියේ අපරාධ.. හොරකම්.. මිනීමැරුම් ආදිය උනත් අධික ලෙස වර්ධනය වීමට හේතුව මේ අපට නොපෙණන ආර්ථික අවපාතය. ඇත්තටම බැලුවොත් අපිට දැං ආර්ථීකයක් නැහැ. ණයට අරන් ජෝගි නටල ඒ ණය පියවන්න තවන් ණය අරගෙන අර ණය නොපියවා මේකෙනුත් තවත් ජෝගි නටල, පළවෙනි ණය පියවන්න තුන් පාරක් ණය ගන්න රටක ඉන්න මිනිස්සුන්ගේ ආර්ථිකය ගැන කුමන කතාද?

වේදිකාව ලස්සනට සරසල, කොඩි වැල් දාලා සද්දේ ලොකුවට දාලා තිබුනට ටකරං ටික රත් වෙලයි තියෙන්නේ. මොන වෙලාවක හරි ඉස් මස් ලේ පුපුරාවි. ඒත් එතකං ඉන්න බෑ. මේ වගේ අරාජික, නීතියක් නැති නීතිය සැමට සාධාරණව එක ලෙස ක්‍රියාත්මක වීමක් නැති විලිලැජ්ජා නැති පාලකයෝ ඉන්න රටක හෙට මට වෙඩි තියල මැරුවත් ඒක සාධාරණයි.